සිරිලක් අඹරේ දිදුලන ළහිරු මඩලක් බඳු බලපිටිය මනස්කාන්ත පුරවරයකි. ගංඟා, ඇළදොළ, කඳු, සමබිම් හා චිත්තාකර්ශණීය වෙරළ තීරයකින් සමන්විත වූ මෙම පුරවරය කුරුඳු, නෙරළු හා පළතුරු උයන්වතු ආදියෙන් හා සාරවත් කෙත්වතු වලින් අලංකෘත වී ඇත. බලපිටිය පුරවරයෙන් ඉතිහාසය මතුකර ගැනීමට වැඩි වශයෙන් ඉවහල් වන වංශ කතා අතර මහාවංශය, ධාතුවංශය හා සිංහල බෝධිවංශය ප්‍රධාන තැනක් ගනී. සිදත් සඟරාව, පූජාවලිය, ගිරා, තිසර, කොවුල් හා පරවි ආදී සංදේශ කාව්‍යයන් බලපිටිය මතු කර ලිවීමට සුවිසල් මෙහෙයක් දරයි. පුරාණ වැලිතොට පුරවරය පිළිබඳවත්, කොස්ගොඩ පිළිබඳවත් සිංහල සංදේශ සාහිත්‍යාවලියේ මුලින්ම කරුණු අනාවරණය කරන්නේ ගම්පොල යුගයේ ලියැවුණු මියුරු සංදේශයයි.
ඓතිහාසික පසුබිම අනුව මෙම ප්‍රදේශය පුරාණ කාලයේ සිට ජනාවාස වී පැවතුනේ යැයි සිතිය හැකි නමුදු ඒ සඳහා නිශ්චිත සාධක සොයාගෙන නොමැත. දඔදෙණියේ රජකළ 6 වන පැරකුම්බා රජු සිය සේනාව දකුණු ලක ආරක්ෂාව සඳහා යෙදවූ අතර ඔවුන් නවාතැන් ගත් එක් ස්ථානයක් ලෙස බළපිටිය ඉතිහාස ගත වී ඇත. පැරකුම්බා රජ සමයෙහි ලියවුණු හංස සංදේශයේද බළපිටිය පිළිබඳව සඳහන් වේ. එහි මඟ වැනුමෙහි බළපිටිය වැලිතොට නමින් හඳුන්වා ඇත. එම සමයේ බළපිටිය කෝට්ටේ සිට මාතර දක්වා මුහුදු බඩ මාර්ගයේ නවාතැන්පොළක් වු බව සඳහන් වේ. පැරකුම්බා රජ සමයේ අභ්‍යන්තර දේශපාලන ගැටළු වලට මුහුණ දුන් ආරක්ෂක සේනාංක මෙම ප්‍රදේශයේම පදිංචි වී පසු කාලයේ ධීවර කර්මාන්තයට හා කුරුඳු වගාවට යොමු වු බව ජනප්‍රවාදයේ සඳහන් වේ.
පැරකුම්බා රජ සමයෙන් පසු මේ ප්‍රදේශය වැදගත් වී ඇත්තේ ලන්දේසි පාලන සමයේදී ය. ඒ කාලයේ ප්‍රධාන ප්‍රාදේශීය මධ්‍යස්ථානයක් මෙන්ම වෙළඳ මධ්‍යස්ථානයක් වු අම්බලන්ගොඩ ප්‍රදේශයට ආසන්නයේ පිහිටි බළපිටිය මුහුදු බඩ ප්‍රදේශ ලන්දේසින් විසින් වාණිජ කටයුතු සඳහා වෙළඳ ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගෙන ඇත. පෘතුගීසින් හා ලන්දේසින් කුරුඳු වගාව කෙරෙහි දැක්වු උනන්දුව නිසා මෙම ප්‍රදේශ දැඩිව පාලනය කල බව පෙනේ. බළපිටිය ධීවර වරාය මෙම කාල වකවානුවට අයත් ඉතා පැරණි, රුවල් නැව් මගින් මෙරටට බඩු ගෙන එන වෙළඳ වරායක් ලෙස පැවත ඇත. පසු කාලයේදී විවිධ හේතු මත මෙම වරාය භාවිතයට නොගත් අතර මේ ස්ථානයේ තිබු භාණ්ඩ ගබඩාව කාලයාගේ ඇවෑමෙන් ගුරු විද්‍යාල නේවාසිකාගාරයක් ලෙස භාවිතා කර ඇති අතර එම ගොඩනැගිලි ද අද නටඹුන් වී විනාශ වී ගොස් ඇත. වර්තමානයේ මෙම වරාය නැංගුරම් පොළකට සීමා වී ඇත. බළපිටිය මාදු ගඟ ඓතිහාසික කරුණු රාශියක් හා බැඳී ඇත. බෞද්ධාගමේ සොලොස්මස්ථාන වන්දනාවේ එන සේල චෛත්‍ය මාදු ගඟ අසබඩ පිහිටි ගල්වෙහෙර පුරාණ විහාරය විය හැකි බව ජන විශ්වාසයේ අදද පවතී. බළපිටිය මාදු ගඟ දුපත් 64කින් යුක්ත වු බව ආනන්ද රාජකරුණා ලියු මාදු ගඟ සුන්දරත්වය පිලිබඳ කවි පන්තියක සඳහන් වේ. මාදු ගඟේ දුපත් අතර ඓතිහාසික වශයෙන් සුවිශේෂි වැදගත්කම ඇත්තේ කොත්දුව පිහිටි කොත්දුව විහාරයයි. හේමමාලා දන්ත කුමරු මෙරටට වැඩම කල ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ විජය බණ්ඩාර යුගයේදි පෘතුගීසි ආක්‍රමණයන්ගෙන් බේරා ගැනීම සඳහා කොත්දුව දුපතේ සඟවා තබා ඇත.
දඹදෙණි රාජධානි සමයේ ( ක්‍රි.ව.1258 ) දී චන්ද්‍රභාණු නම් සෙන්පතියා ප්‍රමුඛ ආක්‍රමණකාරී කේරළ හමුදාව වැලිතොටදී සමූල ඝාතනය කරමින් වාලුකා නදිය ලෙයින් සිතුවම් කොට මව් බිම රැකගත් සිංහල හමුදාවට නායකත්වය දෙනු ලැබුවේ දේව පතිරාජ අග්‍රාමාත්‍යවරයා බව ඉතිහාසයේ සඳහන් වේ. දඔදෙණිය යුගයේ රජකල දෙවන පණ්ඩිත පරාක්‍රමබාහු රජුගේ දේවපතිරාජ ඇමතියා විසින් කොත්දූව දූපතේ ඇති බෝරුක රෝපණය කළ බව සදහන් වේ. පසු කාලයේදී සැම්සන් රාජපක්ෂ මැතිතුමා විසින් මෙම ස්ථානයේ විහාරයක් ඉදිකර පුද පුජා පැවැත්වීම සඳහා කටයුතු කර ඇත.
බළපිටිය ප්‍රාදේශීය සභා බළ ප්‍රදේශය තුළ සිංහල මෙන්ම මුස්ලිම් ජනතාවද සැලකිය යුතු පිරිසක් ජීවත් වේ. පසු කාලයේ මුස්ලිම් ජනතාව වෙළඳ කටයුතු සඳහා මෙම ප්‍රදේශයට පැමිණ මෙහි පදිංචි වු බව සඳහන් වේ. ඓතිහාසික බලපිටිය පුරවරය හැඳින්වීම සඳහා ඒ ඒ කාල වකවානු වල යොදාගත් නම් කිහිපයකි. ඇඹලව රහත් ගල් වෙහෙර, වාලුකා තිත්ථ, කීර වැල්ල (කීර වාලුකා), මහ පැලෑන, උතුම් ගම, සල්ගමුව, වැලිතොට (වැලිතර ) හා බළපිටිය එම නාමයෝ වෙයි.
