ඉතිහාසය

කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ ඉතිහාසයෙන් බිඳක්…

තිරගම්දහය නැගෙනහිර කෝරළය, තිරගම්දහය බටහිර කෝරළය, මහගල්බොඩ මෙගොඩ කෝරළය, කුඩාගල්බොඩ කෝරළය, වැල්ලව කෝරළය යන පස් කෝරළයෙන් සහ කුරුණෑගල, මල්ලවපිටිය, මාස්පොත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුනකින් සමන්විත වූ බල ප්‍රදේශය 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතට අනුව කුරුණෑගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය වශයෙන් ස්ථාපිත විය. 1988.01.01 වන දින ස්ථාපිත කරන ලද කුරුණෑගල ප්‍රාදේශීය සභාව ආර්. ඩබ්. එස්. වීරසිංහ නැමැති කුරුණෑගල ප්‍රාදේශීය ලේකම්තුමා, විශේෂ කොමසාරිස්වරයෙකු වශයෙන් මෙහෙයවීය. ආරම්භයේදී ලිපිකරුවන් තිදෙනෙකුද ආදායම් පරිපාලකවරයෙක්, තාක්ෂණ නිළධාරියෙක්, කාර්යාල කාර්ය සහායකයෙකු හා මුරකරුවෙකු වශයෙන් සේවක පිරිස හත් දෙනෙකු සේවය කළේය. කුරුණෑගල ප්‍රාදේශීය සභා උප කාර්යාල වශයෙන් කුඩාගල්ගමුව, තිරගම්දහය නැගෙනහිර, වැල්ලව යන ආයතන පිහිටුවීය.

මන්ත්‍රීවරු විසිදෙදෙනෙකුගෙන් සමන්විත කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ ප්‍රථම සභාපති ලෙස චන්ද්‍රදාස ගොඩිගමුව මහතා 1991 අප්‍රේල් මස 15 වන දින පත්වු අතර, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ එතුමා 1997 අප්‍රේල් මස 14 වන දින දක්වා සභාපතිවරයා ලෙස කටයුතු කළේය. ප්‍රාදේශීය සභාවේ දෙවන සභා වාරය 1997 අප්‍රේල් මස 15 වන දින ආරම්භ වූ අතර පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කළ පැට්‍රික් කරුණාසිංහ මහතා සභාපති ලෙස 2002 අප්‍රේල් 14 දින දක්වා කටයුතු කළේය. තෙවන සභා වාරය 2002 අප්‍රේල් 15 වන දින ආරම්භ වූ අතර නැවතසභාපති ලෙස එකසත් ජාතික පක්ෂය නියෝජනය කළ චන්ද්‍රදාස ගොඩිගමුව මහතා පත්විය. 2006 අප්‍රේල 14 වන දින තෙවන සභා වාරය අවසන්වු අතර, කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ සිව්වන සභා වාරය 2006 අප්‍රේල් 15 වන දින ආරම්භ විය. සිව්වන සභා වාරයේ සභාපති ලෙස නැවත වරක් පත්වු එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පැට්‍රික් කරුණාසිංහ මහතා සභාපති ලෙස කටයුතු කරණු ලැබීය.

අප ප්‍රාදේශීය සභා ඉතිහාසයේ තවත් වැදගත් අවස්ථාවක් ලෙස 2007 ජූනි මස 09 වන දින සටහන් කළ හැකිය. එදින වර්තමාන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ ප්‍රමුඛ තිස් දෙනෙක් පමණ වූ වැදි පිරිසකගේ සහභාගිත්වයෙන් ප්‍රාදේශීය සභා කලා මහෝත්සවය පැවැත්විණි.

2008 වර්ෂයද කුරුණෑගල ප්‍රාදේශීය සභාවට ඉතා වැදගත් කාර්යක්ෂමතාව අතින් ඉහළ මට්ටමක් පෙන්වු වර්ෂයක් විය. 2008 වර්ෂයේදී සිදු කරනු ලැබු පොදු සේවාවන්ට හා දෛනික රාජකාරි වලට අමතරව ඉතා විශේෂිතවුත් කුරුණෑගල ප්‍රාදේශීය සභාවට මහත් අභිමානයක් ගෙනදෙන්නාවුත් සිදුවීම් අතර, ශ්‍රී ලංකාවේ 60 වන නිදහස් සමරු දිනය සිහිපත් කළ හැකිය. එදින දැයේ දරුවන් වෙනුවෙන් ඉදිවුනාවු උඩදිගන නිදහස් සමරු ළමා උද්‍යානය දරු දැරියන් වෙත පවරා දෙන ලදී. අන්තර් පළාත් කලා හුවමාරු වැඩසටහන යටතේ කීර්තිමත් දකුණු ලක කලාකරුවන් උදෙසා වු පිළිගැනීමේ උත්සවය 2008 මාර්තු 25 වන දින පැවැත්වුණි.

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ වැඩිහිටියන් සඳහා වූ උපහාර උළෙල ජාත්‍යන්තර වැඩිහිටි දිනය වූ 2008 ඔක්තෝබර් මස 01 වන දාන උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මෙහිදී ජාතියේ ප්‍රණාමය වැඩිහිටියන් උදෙසා පුදකළ අතර, වැඩිහිටියන් 700 කට අධික පිරිසක් මේ සඳහා සහභාගි විය.

ගොන්න ප්‍රදේශයේ ඉදිකරණ ලද පෙර පාසල 2008.10.06 වන දින සිඟිති දරු දැරියන් වෙත පවරා දෙන ලදී. කුරුණෑගල ප්‍රාදේශීය සභා ඉතිහාසයේ තවත් විශේෂිත සිදුවීමක් ලෙස 2008.10.09 වන දින ගරු සභාපතිතුමා, ගරු උප සභාපතිතුමා, ගරු විපක්ෂ නායකතුමා ඇතුළු මන්ත්‍රී මණ්ඩලයත් ලේකම් මහතාද සමග සිදුකරණ ලද ඉන්දීය සංචාරය සඳහන් කළ හැකිය. මේ පිරිස ඉන්දියාවේ මුම්බායි නගරයේ අධ්‍යන චාරිකාවක නිරත විය.

2009 වර්ෂය අප ප්‍රාදේශීය සභාවට මෙන්ම මුළු මහත් ශ්‍රී ලංකාවටම අතිශයින් වැදගත්වුත් ඓතිහාසිකවුත් වසරක් වීම විශේෂත්වයකි. එනම් වසර තිහක් පුරාවට මුළු මහත් රටම භීෂණයෙන් වෙලාගත් කුරිරු යුද්ධයෙන් මව් බිම නිදහස් කර ගැනීමයි. ඒ 2009 වර්ෂයේ මැයි මස 18 වන දිනයයි. අප බල ප්‍රදේශය මෙන්ම මුළු මහත් ශ්‍රී ලංකාවම මෙම ඓතිහාසික විජයග්‍රාහී දිනය සැමරීය. ගරු සභාපති දේශබන්ඳු පැට්‍රික් කරුණාසිංහ මැතිතුමා ඇතුළු ගරු මන්ත්‍රීතුමන්ලා, ලේකමිතුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය, බල ප්‍රදේශයේ සිංහල, දෙමළ, මුස්ලිම් යන සියලුම ජනතාව සමග එකට එක්ව කැවුම් කිරිබත් අනුභව කොට ජයග්‍රහණය සැමරූහ.

2009 වර්ෂයේ පෙබරවාරි මස පැවති වයඹ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වු අප ප්‍රාදේශීය සභාවේ ගරු උප සභාපති අසංක නවරත්න මැතිතුමා වයඹ පළාත් සභාවට තේරී පත් විය. එම නිසා පුරප්පාඩු වු උප සභාපති ධූරයට ගරු මන්ත්‍රී දීපාල් හේරත් මහතා පත්වීමද විශේෂත්වයකි. ඒ වගේම අසංක නවරත්න මහතා පළාත් සභාවට තේරී පත් වීම නිසා පුරප්පාඩු වු මන්ත්‍රීධූරයට නාලින්ද ජයසේන මහතා තේරී පත් විය.

අප ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවට සුවිශේෂ මෙහෙවරයන් රාශියක් 2009 වසර තුළ සිදු කිරීමට හැකි විය. ඒ අතර ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘතිය යටතේ පැල්ලන්දෙණිය, ගුරුලෑපොල, බෝධිගම, කුදුම්බුව, හේවාපොල, වේරවැල්ල ප්‍රදේශ සඳහා ජල ව්‍යාපෘති හයක් ආරම්භ කිරීමට හැකිවීම සුවිශේෂී ක‍්‍රියාවක් ලෙස සැලකිය හැකිය. ජනතාවගේ මූලික අවශ්‍යතාවයක් වූ ජලය මෙසේ ලබාදීමට හැකිවීම සමාජ සත්කාර්යයකි. මීට අමතරව මතව ප්‍රජා ශාලාව සහ සාරගම පුස්තකාලයේ ඉදිකිරීම් කටයුතු බොහෝ දුරට අවසන් කිරීමට හැකි විය. එපමණක් නොව, ප්‍රදේශය පුරා විහිදී ගිය ශක්තිමත් මාර්ග පද්ධතියක් සකස් කිරීමට හැකිවීම අප විසින් කරනු ලැබු සුවිශේෂී ජනතා මෙහෙවරක් ලෙස හැඳින්විය හැකිය.

මෙම සියලු කාර්යයන්හි නායකත්වය ගෙන කටයුතු කරනු ලබන ගරු සභාපතිතුමාගේ සුවිශේෂී දායකත්වය මුළු මහත් ශ්‍රී ලංකාවටම ලබාගැනීම සඳහා ගරු සභාපති පැට්‍රික් කරුණාසිංහ මැතිතුමා සමස්ත ලංකා ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ගේ සම්මේලනයේ ජාතික සංවිධායකවරයා වශයෙන් පත් කර ගැනීමද අප ප්‍රාදේශීය සභාවට අතිශයින් වැදගත්වූවකි

2010 වසර තුළ කුරුණෑගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවගේ හිත සුව පිණිසවන ප්‍රජා සත්කාර රාශියක් සිදු කරනු ලැබු අතර, රුපියල් ලක්ෂ තිස් දෙකක පමණ මුදලක් වැය කොට මතව ප්‍රදේශයට දෙමහල් ප්‍රජා ශාලාවක් ඉදිකර දීමද ඇලිවලතැන්න ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් රුපියල් ලක්ෂ තිහක් පමණ වැය කොට ප්‍රජා ශාලාවක් ඉදිකර දීමද විශේෂයෙන් සඳහන් කළ හැකිය. 2010 වසරේදී කුරුණෑගල ප්‍රදේශීය සභාවේදී එක්සත් ජාතික පක්ෂයේ ඩී. ජී. පුංචිහේවා මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමද ඒ වෙනුවට නව මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රේමිකියාස් මහතාගේ පත්වීමද සිදු විය.

ගෙවී ගිය 2011 වර්ෂය කුරුණෑගල ප්‍රාදේශීය සභාවට අතිශය වැදගත් වූ වර්ෂයක් විය. 2011 මාර්තු මස පැවති මැතිවරණයෙන් බල ප්‍රදේශය තුළ වැඩිම මනාප ලබාගනිමින් තෙවන වරටත් කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිධූරයට දේශබන්ඳු පැට්‍රික් කරුණාසිංහ මහතා තේරී පත් විය. එමෙන්ම නවක මන්ත්‍රීවරයෙකු ලෙස පත්වු අචල නිමන්ත වික්‍රමතිලක මහතා උප සභාපති ධූරයට පත් විය. පසුගිය සභාවේ ගරු මන්ත්‍රී ධූර දැරූ විජිතලාල් ප්‍රේමතිලක, කේ. ඒ. පද්මචන්ද්‍ර, ඩබ්. ආර්. ඒ. ආර්. ඩොමිනික් රණසිංහ, ඩබ්. රෝහණ පුෂ්පකුමාර, එස්. ටී. පී. සිසිර කුමාර, කේ. කේ. ඩී. නාලින්ද ජයසේන, අසංක ප්‍රදීප රණසිංහ, ජී. සිසිර සේනාරත්න, අජිත් ප්‍රියලාල් වර්ණසූරිය, චන්ද්‍රදාස ගොඩිගමුව, එස්. ඒ. යූ. ප්‍රේමිකියාස්, ධර්මප්‍රිය දිසානායක යන මහත්වරුන් නැවත ගරු මන්ත්‍රීධූර සඳහා තේරී පත්වු අතර, රනිල් සංජය සිල්වා, අනුල් කුමාර විජේසිරි, අනුර කුමාර අරඹේපොල, චමින්ද සෝමරත්න, මහින්ද විජේනායක, තිළිණ ධනුෂ්ක ඒකනායක, නන්දන බාලසූරිය, සංජය ඇතුගල යන මහත්වරුන් නවක මන්ත්‍රීවරුන් ලෙස 2011 වර්ෂයේදී කුරුණෑගල ප්‍රාදේශීය සභාව සඳහා තේරී පත්වූහ.

ගරු සභාපති දේශබන්ඳු පැට්‍රික් කරුණාසිංහ මැතිතුමා ඇතුළු මන්ත්‍රී මණ්ඩලය හා ලේකම් ඩී. ඩී. වික්‍රමසිංහ මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය විසින් බල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් විශිෂ්ඨ වූ සේවාවක් ලබා දෙන ආයතනයක් ලෙසට කුරුණෑගල ප්‍රාදේශීය සභාව පත් කොට ඇත. ඒ අනුව වයඹ පළාතේ ප්‍රමුඛතම පළාත් පාලන ආයතනයක් බවට කුරුණෑගල ප්‍රාදේශීය සභාව පත්ව ඇත. 2011 වර්ෂයේ වයඹ පළාත් පාලන ආයතන අතර පැවති කාර්ය සාධන තරඟයෙන් එය මනාව පිළිබිඹු වේ. එහිදී කුරුණෑගල ප්‍රාදේශීය සභාව වයඹ පළාතේ දෙවන ස්ථානයට පත් විය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය, දි. මු. ජයරත්න මැතිතුමාගේ සංකල්පයක් අනුව දීප ව්‍යාප්තව සිදු කරන ලද “ආර්ථික සංවර්ධනයත් සමග උත්තරීතර සමාජයක් උදෙසා ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ යහපත් ආකල්ප වර්ධනය කිරීම” නැමැති ව්‍යාපෘතියට සම්බන්ධ වෙමින් ප්‍රථම වැඩසටහන 2011 වර්ෂයේ අගෝස්තු මස 05 වන දින කුරුණෑගල ප්‍රාදේශීය සභාවේදී ගරු සුජීව තිසේරා පූජකතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට හැකිවීම අප ලැබු තවත් ජයග්‍රහණයකි. මන්ද එම වැඩසටහන තුළින් කුරුණෑගල ප්‍රාදේශීය සභා කාර්ය මණ්ඩලය ආකල්පමය වෙනසකට භාජනය කරන්නට හැකිවිය. තවද 2012 වර්ෂයේ අගෝස්තු මස 30 වන දින එම පූජකතුමන්ගේම ප්‍රධානත්වයෙන් වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යංශය හා වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුව සමග එක්ව වයඹ පළාත් පාලන ආයතන සඳහා එම වැඩසටහනම සිදුකිරීමට හැකිවීමෙන් වයඹ පළාතම ගෞරවාදරයට පාත්‍ර විය. මන්ද 2012 වර්ෂයට අදාල කාර්ය සාධන තරඟයෙන් සමස්ත ශ්‍රී ලංකාවෙන්ම ප්‍රමුඛස්ථාන සියල්ලේම හිමිකරුවා වුයේ වයඹ පළාතයි.

ගරු සභාපති දේශබන්ඳු පැට්‍රික් කරුණාසිංහ මැතිතුමාගේ නායකත්වය හා මග පෙන්වීම යටතේ සීමිත සම්පත් ප්‍රමාණයක් මත වත් කුරුණෑගල ප්‍රාදේශීය සභාව අභිමානවත් විශිෂ්ඨ වූ ජනතා මෙහෙවරක යෙදීමට 2012 වර්ෂය තුළ හැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස 2012 වර්ෂයේ පවත්වන ලද කාර්ය සාධන තරඟයෙන් ලකුණු 4.5 ක වෙනසකින් වයඹ පළාත් දෙවන ස්ථානයටද ලකුණු 2.5 ක වෙනසකින් සමස්ත ලංකා දෙවන ස්ථානයටද පත්වෙමින් ස්වර්ණපුරවර සම්මානය හිමි කරගන්නා ලදී. ගරු සභාපති දේශබන්ඳු පැට්‍රික් කරුණාසිංහ මැතිතුමා සහ ලේකම් ඩී. ඩී. වික‍්‍රමසිංහ මහත්මිය 2012.08.08 දින සිට 2012.08.16 දක්වා වියට්නාමයේ සංචාරය කළ අතර, එමගින් ලබාගත් අත්දැකීම්ද එකතු කරමින් ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම පළාත් පාලන ආයතනය බවට කුරුණෑගල ප්‍රාදේශීය සභාව පතකිරීම සඳහා වු අධිෂ්ඨානයෙන් යුතුව 2013 වර්ෂය සඳහා පිවිසුනි.

2013 වර්ෂයේ පෙබරවාරි මාසයේදී ගරු සභාපතිතුමා ඇතුළු මන්ත්‍රී මණ්ඩලයත් ලේකමිතුමියත් විසින් සිදු කළ ඉන්දුනීසියා සංචාරය තුළින් ලබාගත් විශිෂ්ඨ අත්දැකීම් හා ගරු සභාපතිතුමා විසින් 2013 ඔක්තෝබර් මාසයේ සිදු කළ චීන කැන්ටන් වෙළඳ ප්‍රදර්ශණය තුළින් ලබාගත් අත්දැකීම් මුසු කරමින් කුරුණෑගල ප්‍රාදේශීය සභා කාර්යයන් ප්‍රශස්ථ මට්ටමකට ගෙන ඒමට හැකිවුනි. ඊට නොමද සහයක් ලබාදෙමින් රාජ්‍ය කළමණාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය විසින් ජූලි මාසයේදී ආරම්භ කළ “රාජ්‍ය සේවයේ විශිෂ්ඨත්වය පිණිසයි -කුරුණෑගල දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ආදර්ශ කාර්යාල ලෙස සංවර්ධනය කිරීම”නැමැති වැඩසටහන ක‍්‍රියාත්මක කෙරුණි. ඒ තුළින් කුරුණෑගල ප්‍රාදේශීය සභාව පෙරටු කාර්යාලය හා පසු කාර්යාලය ලෙස අංශ දෙකක් යටතේ ක‍්‍රියාත්මක කෙරුණි. බල ප්‍රදේශයේ මහජනතාවගේ කාර්යයන් ඉටු කිරීම පෙරටු කාර්යාලය තුළින් පමණක් සිදු කරනු ලැබු අතර, ආයතනික කාර්යයන් පසු කාර්යාලය තුලින් සිදුකෙරුණි. අඛණ්ඩව මේ වන විටත් එම කාර්යාල ක‍්‍රමය අප ආයතනයේ සිදුකරනු ලබන අතර, ඵලදායිතාවයෙන් හා ගුණත්වයෙන් යුත් සේවාවක් බල ප්‍රදේශයේ මහජනතාව වෙත ඉටු කරන්නට ලැබීම අප ලැබු සුවිශේෂි ජයග්‍රහණයකි.

2013 වර්ෂයේ මැයි මාසයේදී හා දෙසැම්බර් මාසයේදී ජාති ආගම් කුල භේද නොසලකා “මැද්දේගම වෙසක් කලාපය” ක‍්‍රියාත්මක කිරීමට හා “ගමටම නත්තල්” වැඩසටහනට අනුග්‍රාහකත්වය සපයන්නට ලැබීමද විශේෂ වූ අවස්ථාවන්ගෙන් එකකි. තවත් සුවිශේෂී අවස්ථාවක් ලෙසට “2013 ජපමාල රැලිය” කුරුණෑගල මාලිගාපිටියේදී පැවැත්වීමත් ඊට පහසුකම් සැපයීම සඳහා කුරුණෑගල ප්‍රාදේශීය සභාව තෝරා ගැනීමත් හැඳින්විය හැකිය.

2014 වර්ෂයේදී අහිමි වු නන්දන බාලසූරිය මහතාගේ මන්ත්‍රීධූරයේ පුරප්පාඩුව සඳහා දිනේෂ් හේවාවසම් ජයසුන්දර මහතා තේරී පත් විය. 2014 වර්ෂය තුළ ගරු සභාපතිතුමා, ගරු මන්ත්‍රීතුමන්ලා සහ ලේකම්තුමිය විසින් සිදු කළ තායිලන්ත සංචාරය තුළින් ආපදා කළමණාකරණය පිළිබඳව ලබාගත් අතදැකීම් අනුව ඊට පසු කුරුණෑගල ප්‍රදේශයේ සිදුවූ හදිසි ආපදා තත්වයන් සඳහා සාර්ථක ලෙස මුහුණ දීමට සියලු දෙනාට හැකි විය. එම ආපදා අවස්ථාවන්හිදී ගතයුතු ක‍්‍රියාමාර්ගයන් පිළිබඳව ප්‍රදේශයේ මන්ත්‍රීවරුන් දැනුවත්ව සිටීම ආපදා තත්වයෙන් ජීවිතහානි කිසිවක් වාර්තා නොවීමට හේතුවක්ද විය.

තවද වැසිකිලි ව්‍යාපෘතියට අදාලව ද්‍රව්‍යාධාර ලබාදීම තුළින් වැසිකිලි නොමැති පවුල් කිහිපයක සෞඛ්‍ය හා සනීපාරක්ෂාව ඉහළ තත්වයට ගෙන ඒමට හැකිවීමත් බල ප්‍රදේශය පුරා සීඝ්‍රයෙන් පැතිර ගිය ඩෙංඟු/ජලභීතිකා/මී උණ වැනි වසංගත රෝග නිවාරණයට අදාල වැඩසටහන් රාශියක් සිදුකිරිමට හැකිවීමත් නගර පවිත්‍රතා වැඩසටහන් සිදුකිරීමත් නිසා බල ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය තත්වය ඉහළ නැංවීමටත් හැකි විය.

එමෙන්ම තෝරාගත් ස්ථාන කිහිපයක මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් සිදුකිරීම, යෞවනත්වය පිළිබඳ තරුණ පිරිස දැනුවත් කිරීම තුළින් බල ප්‍රදේශයේ තරුණ පිරිසකගේ ආකල්පමය වෙනසක් ඇතිකිරීමට හැකිවීම, ලෝක ළමා/වැඩිහිටි දිනය නිමිත්තෙන් මාපිය දූදරු වන්දනා වැඩසටහනක් පැවැත්වීම තුළින් සමාජයෙන් ගිලිහී යන සාරධර්ම වර්තමාන පරපුරට කියාදීමට හැකි වීම තුළින් මතු පරම්පරාවට ජීවත් විය හැකි සමාජයක් ගොඩනගන්නට ගත් උත්සාහය අද වන විට සාර්ථක වී ඇත.

ප්‍රාදේශීය සභාව සතු වැවගෙදර ළමා උද්‍යානය සංවර්ධනය කිරීම හේතුවෙන් එම ප්‍රදේශය තුළ මෙන්ම අවට ප්‍රදේශවල දරුවන් මෙන්ම වැඩිහිටි පිරිසගේද මානසික ආතතිය හා විඩාව සන්සිඳුවා ගැනීමට අවස්ථාව සලසා දීමට හැකියාව අප වෙත ලැබුණු අතර, පොදු ස්ථානවල සෙවණ ඇතිකිරීම සඳහා රුක් රෝපණ වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම තුළින් බල ප්‍රදේශයේ පාරිසරික තත්වය ඉහල නැංවීමට හැකියාව ලැබුණි.

තවද ස්වේච්ඡා සංවිධානවල කාර්යභාරය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම තුළින් ස්වේච්ඡා සංවිධානවලින් බල ප්‍රදේශයට විය යුතු සේවය උපරිම ආකාරයෙන් ඉටුකිරීමට අවස්ථාව සලසා දීමට හැකි වු අතර, ස්වේච්ඡා සංවිධාන සමග ඉතා සමීපව කටයුතු කිරීමට ප්‍රාදේශීය සභාව ලෙස අපට හැකියාව ලැබුණි. අප නොදත්තාවු බල ප්‍රදේශයේ ප්‍රශ්න ගැටළු රාශියකට විසඳුම් ලබාදීමට එමගින් හැකියාව ලැබුණි.

එමෙන්ම 2014 වර්ෂය තුළ දැයට කිරුළ ව්‍යාපෘතිය යටතේ රු. 13,000,000.00 ක් සහ සභා අරමුදලින් රු. 13,000,000.00 ක් යොදවමින් ඉදිවන මාස්පොත හා දියබාව ආදාහනාගාර දෙක හා පුරනැගුම ව්‍යාපෘතිය යටතේ ඉදිවන වැල්ලව හා මාස්පොත සතිපොල මේ වසරේදී ජනතා අයිතියට පත්කිරීමට නියමිතව ඇත. මේ සියලුම දේ තුළින් බල ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්වය උසස් මට්ටමකට ගෙන ඒමටත් සමාජ සංවර්ධනය යහපත් ආකාරයෙන් සිදුකිරීමටත් අපට හැකියාව ලැබුණි.

2015 මැයි 15 දින ප්‍රාදේශීය සභා ධූර කාලය අවසන් වූ හෙයින් සභාව විසුරුවා හරින ලදී.එදින සිට ක‍්‍රියාත්මක වන පරිදි බලතල හා කාර්ය කර්තව්‍යය ඉටුකිරීමේ නිලධාරී ලෙස ලේකම් ඩී.ඩී වික්‍රමසිංහ මහත්මිය නිල බලයෙන් පත්විය.2014 වර්ෂයට අදාල ප්‍රාදේශීය සභා කාර්ය සාධන තරඟය 2015 අගෝස්තු මස පැවැත්වීය.එයින් වයඹ පළාතේ දෙවැනි ස්ථානය ලබා ගැනීමට අපට හැකියාව ලැබුණි.එය බල ප්‍රදේශයේ සියලුම ජනතාවගේ ජයග්‍රහණයක් ලෙස හැදින්විය හැක.මෙම වර්ෂය අවසානයේදී ප්‍රදේශයේ සියලුම පෙර පාසල් දූ දරුවන්ගේ සහභාගීත්වයෙන්,පෙර පාසල් වර්ෂ අවසාන උත්සවය උත්කර්ෂවත් අයුරින් කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගනයේදී පැවැත්විය.
අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා පාසල් උපකරණ ලබාදීම, නිවාස සඳහා, රෝගාබාධ සඳහා, ක්‍රීඩා කටයුතු සඳහා, ස්වේච්ඡා සංවිධාන සඳහා, විශේෂ හැකියා ඇති අය සඳහා, ආපදා තත්වයන් සඳහා ආධාර ලබාදීම් තුළින්ද කාන්තා සුභසාධන කටයුතු වලට අදාලව කාන්තාවන් සඳහා ස්වයං රැකියා පුහුණු අවශ්‍යතාවයන් සපුරාලීම තුළින්ද බල ප්‍රදේශයේ ජීවන තත්වය නගාසිටුවීමට ප්‍රාදේශීය සභාව ලෙස අපට හැකි විය. බල ප්‍රදේශයම ආවරණය වන පරිදි සභා අරමුදල් විශාල ප්‍රමාණයක් යොදවා මාර්ග සංවර්ධනය සිදුකිරීම, ප්‍රජා ශාලා අලුත්වැඩියා කිරිම්, අලුතින් ඉදිකිරීම් සිදුකිරිම, පළාත් නිෂ්චිත, පළාත් ආයෝජන වැනි ව්‍යාපෘති හරහා ලද මුදලින් බල ප්‍රදේශයේ මාර්ග පද්ධතිය මෙන්ම භෞතික සංවර්ධන කටයුතු ඉතාමත් ඉහළ මට්ටමකින් සිදුකිරීමට හැකි විය.

2016 වර්ෂයේදී දැයට කිරුළ ව්‍යාපෘතිය මගින් ඉදිකරන ලද වැල්ලව සතිපොළ ජනතා අයතියට පත් කරන ලද අතර තෝරවතුර, තුරුළියගම, රුගොල්ල සහ වැවගෙදර අලුතින් ඉදිකරන ලද සායන මධ්‍යස්ථාන හතර ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය තත්වය නංවාලීම සදහා ජනතා අයිතියට පත් කරන ලදී.

2016 වර්ෂයේදී ප්‍රාදේශීය සභා මැතිවරණයක් නොපැවැත්වීම මත තවදුරටත් සභාවේ බලතල,කාර්යය,කර්තව්‍ය ක‍්‍රියාත්මක කරන නිලධාරී ලෙස ලේකම් ඩී.ඩී වික‍්‍රමසිංහ මහත්මිය කටයුතු කරන ලදී.මෙම වර්ෂය තුල ද සභා කාර්යය මණ්ඩලයේ මැදිහත්වීමෙන් පිරිත් පිංකම් උත්සවය,වාර්ෂික සුහද හමුව සහ වෙසක් පොහොයට සමගාමීව මල්ලවපිටිය වැඩිහිටි නිවාසයට දානය ලබා දීම වැනි ක‍්‍රියාවන් සිදුකරන ලදී.

වර්ෂය තුළ සභා කර්මාන්ත, පළාත් නිශ්චිත,පළාත් ආයෝජන සහ ප්‍රාදේශීය සභා නගා සිටුවීමේ වැඩසටහන් යටතේ දම්බොක්ක ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය ඉදිකිරීම,පොදු වෙළදපල ප්‍රතිසංස්කරණය,ආයුවන්දම ප්‍රජා ශාලාව ඉදිකිරීම සහ ග්‍රාමීය මාර්ග 55 ක් සංවර්ධනය කිරීම ආදී ව්‍යාපෘති ක‍්‍රියාවට නංවමින් ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය කරන ලදී.මෙම වර්ෂය කුරුණෑගල ප්‍රාදේශීය සභාවට ඉතා වැදගත් වර්ෂයක් වෙමින් 2015 වර්ෂයට අදාලව පැවති පළාත් කාර්යසාධන තරගයේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට හැකිවිය.තවද 2016 වර්ෂයේදී ප්‍රථම වරට ජාතික ඵලදායීතා තරගයට පෙනී සිටිමින් කුසලතා සම්මානයක් හිමි කර ගැනීමට හැකිවීම ආයතනයක් ලෙස අප ලැබූ ජයග්‍රහණයකි.

2017 වර්ෂයේදී ප”’දේශිය සභා මැතිවරණයක් නොපැවැත්වීම මත තවදුරටත් සභාවේ බලතල, කාර්යය, කර්තව්‍ය ක‍්‍රියාත්මක කරන නිලධාරී ලෙස ලේකම් ඩී.ඩී වික්‍රමසිංහ මහත්මිය කටයුතු කරන ලදී. ලේකම්තුමිය හා එක්වසභා කාර්යය මණ්ඩලය මගින් සංවිධානය කිරීමෙන වාර්ෂික පිරිත් පිංකම, අවුරුදු උත්සවය, වෙසක් පොහොය නිමිත්තෙන් වෙසක් කූඩු තරගය වැනි සේවක අභිප්‍රේරණ වැඩසටහන් ක”යාත්මක කරණ ලදි.වර්ෂය තුල සභා කර්මාන්ත, පළාත් නිශ්චිත, පළාත් ආයෝජන සහ ප්‍රාදේශිය සභා නගා සිටුවීමේ වැඩසටහන් යටතේ මාස්පොතආදාහනාගාරය විවෘත කිරීම සිදුකරණ ලදී. 2016 වර්ෂයට අදාල ප්‍රාදේශීය සභා කාර්ය සාධන තරගය 2016 වර්ෂයේ පැවැත්වූ අතර වයඹ පළාතේ තුන් වන ස්ථානය ලබා ගැනීමට සමත් විය. එමෙන්ම වයඹ පළාත් වොලිබෝල් තරගාවලියේ වයඹ පළාතෙන් ප්‍රථම ස්ථානය හිමි කර ගනිමින් විශිෂ්ඨ ජයග`හණයක් ලබා ගත්තේය. වොලිබෝල් තරගාවලියේ දක්ෂතම ක‍්‍රිඩිකාවද කුරුණෑගල ප්‍රාදේශිය සභාවේ ක‍්‍රිඩිකාවක් වීම සුවිශේෂි ජයග්‍රහනයක් විය.

2018 වර්ෂයේ අප්‍රේල් මස 04 වෙනි දින කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ සයවන සැසිවාරයේ මංගල සභාවාරය ආරම්භ විය.සයවන සැසිවාරයේ ගරු සභාපති ලෙස අචල නිමන්ත වික්‍රමතිලක මැතිතුමා දිවුරුම් දුන් අතර උප සභාපති ලෙස දිවුරුම් දුන්නේ අනුර කුමාර අරඹේපොල මැතිතුමාය. නව කොට්ඨාශ ක‍්‍රමය අනුව කොට්ඨාශ 44 කට අදාලව මන්ත්‍රී වරුන් පත් වූ අතර 2018 වර්ෂය තුළ ගරු සභාපතිතුමාගේ නායකත්වය යටතේ පරිපාලන,සෞඛ්‍ය හා සනීපාරක්ෂක සේවා,භෞතික සැලසුම් මංමාවත් ඉඩම් හා ගොඩනැගිලි,පොදු උපයෝගී සේවා හා සුභ සාධන සේවා යටතේ විවිධ වැඩසටහන් ක‍්‍රියාත්මක විය.මෙම වර්ෂයේදී සභා අරමුදලින් කලක් අඩුපාඩුවක්ව පැවති කුඩාගලගමුව පුස්තකාලය ඉදිකිරීම ආරම්භකරන ලදී. පුරනැගුම ව්‍යාපෘතියේ දායකත්වයද සහිතව මිලියන 12.2 ක ප්‍රාග්ධන වැය දරමින් ප්‍රාදේශීය සභා නව බහුකාර්යය ගොඩනැගිල්ල ඉදිකිරීමට ද 2018.12.21 දින මුල්ගල් තබන ලදී.
2019 වර්ෂයේදී ප්‍රාදේශීය සභා බහු කාර්යය ගොඩනැගිල්ල, කුඩාගල්ගමුව පුස්තකාල ගොඩනැගිල්ල හා දියබාව ආදාහනාගාරයේ ඉදිකිරීම් කටයුතු අවසන් කරන ලද අතර 2020 වර්ෂයේදී මෙම ගොඩනැගිලි ජනතා අයිතියට පත්කිරීමට නියමිතව තිබුනි.

2019 වර්ෂය තුළ ගරු සභාපතිතුමාගේ නායකත්වය යටතේ තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගනිම්න් විවිධ සංවර්ධන වැඩසටහන් ක‍්‍රියාත්මක වූ අතර සභා අරමුදලින් හා මධ්‍යම රජයේ ගම් පෙරළිය ප්‍රතිපාදන යටතේ සභා බල ප්‍රදේශයේ මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සදහා රුපියල් මිලියන 200කට ආසන්න මුදලක් වෙන් කර සංවර්ධන කටයුතු සිදු කරන ලදී. දොරටියාව පුස්තකාලය සදහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සදහා මෙම වර්ෂයේදී කටයුතු ආරම්භ කරන ලද අතර පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය මගින් ප්‍රදාන ලෙස අප සභාවට අතවශ්‍ය වූ කම්පැක්ටර් රථයක් 2019 වර්ෂයේදී හිමි විය.

2020 වර්ෂයේ පෙබරවාරි 01 දින හිටපු ලේකම් ඩී.ඩී වික‍්‍රමසිංහ මහත්මිය ස්ථානමාරු වීම් ලබා රීදීගම ප්‍රාදේශීය සභාවේ රාජකාරී භාර ගැනීම හේතුවෙන් කුරුණෑගල ප්‍රාදේශීය සභා ලේකම් ලෙස ජේ.ඒ අජිත් කුමාරසිංහ මහතා රාජකාරී භාරගන්නා ලදී. 2020 වර්ෂයේ මාර්තු 16 න් පසු රටේ පැවති කොරෝනා වසංගතය හේතුවෙන් සියලු සංවර්ධන කටයුතු තාවකාලිකව නතර කරන ලද නමුත් බල ප්‍රදේශයේ ජනතාව වෙත සහන සලසමින් සුභ සාධන කටයුතු අඛණ්ඩව සිදු කරන ලදී .2020 ජූනි මස සිට නැවතත් සංවර්ධන කටයුතු සිදු කිරීම ආරම්භ කරන ලද අතර සභා කර්මාන්ත ලෙස බල ප්‍රදේශයේ මාර්ග සංවර්ධනය වෙනුවෙන් රුපියල් කෝටි 12 කට ආසන්න ප්‍රමාණයක් යොදවන ලදී. 2020 අයවැය මගින් යෝජිත ගලි බවුසරයක් මිලදී ගැනීම මෙම වර්ෂයේදී සිදුකරණ ලදී .

ජනතා මුදල් වැය කරමින් සිදු කළ කාලීන වශයෙන් විශාල වැදගත්කමක් ඇති දම්බොක්ක ඝණ අපද්‍රව්‍ය කලමනාකරණ මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමට 2021 වර්ෂයේදී අපට හැකි විය. මෙමගින් බල ප්‍රදේශයේ එකතුවන කසල ප්‍රතිචක්‍රීකරණය කර නැවත පොහොර බවට පත්කරමින් ජනතාවට බෙදාදීමට හැකිවීම අප ලද ජයග්‍රහණයකි. එමෙන්ම සභා අරමුදල් හා 2014 දැයට කිරුල ව්‍යාපෘතිය මගින් මුදල් යොදවා ඉදිකළ දියබාව ආදාහනාගාරය ජනතා අයිතියට පත්කිරීමට හැකිවීමද අප ලද ජයග්‍රහණයකි. පැවති කොවිඩ් වසංගත තත්වය හමුවේ ජනතාවට සිදුකළ හැකි සේවය ඉටුකිරීමට අප සතු ආදාහනාගාර මහත් රුකුලක් විය. එමෙන්ම 2021 වර්ෂයේදී බල ප්‍රදේශයේ ජනතාව වෙත කොවිඩ් එන්නත්කරණය සිදුකිරීමේදී අවශ්‍ය ආහාර ඇතුළු සියලු පහසුකම් සැපයීමට අපට හැකි විය.

කුරුණෑගල ප්‍රාදේශීය සභා ගමන් මඟෙහි අප ලැබු සුවිශාල ජයග්‍රහණයක් වන්නේ 2018 වර්ෂයේ දී මුල්ගල තබන ලද ප්‍රාදේශීය සභා නව බහු කාර්ය ගොඩනැගිල්ල 2022 වර්ෂයේ ජනතා අයිතියට පත් කිරීමට හැකියාව ලැබීමයි. මේ තුළින් ප්‍රදේශයේ මහජනතාවට වඩාත් කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් සැපයීමට හැකියාව ලැබෙනු ඇතැයි අපගේ විශ්වාසයයි. 2021 වසරේ අභිනවයෙන් ඉදිකළ දොරටියාව උප කාර්යාලය හා මහජන පුස්තකාලය, කුඩාගල්ගමුව උප කාර්යාලය හා මහජන පුස්තකාලය 2022 වසරේදී ජනතා අයිතියට පත්කෙරුන අතර, වෙනත් වර්ෂවල මෙන්ම 2022 වර්ෂයේදීත් මාර්ග සංවර්ධන කටයුතු විශාල වශයෙන් සිදුකරමින් ජනතාවගේ ජීවිත නගා සිටුවීමට අවශ්‍ය දායකත්වය පළාත් පාලන ආයතනයක් ලෙස නොකඩවා ලබාදීමට අප සියලුම දෙනාට හැකිවිය.

2023 වර්ෂයේදී මල්පිටිය වෙළඳ සංකීර්ණය නවීකරණය කිරීම, වැල්ලව වෙළෙඳ සංකීර්ණයේ ඉදිරි වැඩ කටයුතු සිදුකිරීම වැවගෙදර ග්‍රාමයේ පිහිටි ළමා උද්‍යානය නවීකරණය කර ජනතා අයිතියට පැවරීම, තිත්තවැල්ල වැව සංවර්ධන ව්‍යාපෘතිය සහ බඩගමුව සංවර්ධන ව්‍යාපෘතිය සැකසීම, වරිපනම් බදු ගෙවීමේදී කාර්‍යාලයට නොපැමිණ නව තාක්ෂණය උපයෝගී කරගෙන ගෙවීම් කටයුතු සිදුකිරීමට පහසුකම් සලසාදීම, මහජන පැමිණිලි සම්බන්ධයෙන් වට්ස්ස්ඇප් මෙන්ම ෆේස්බුක් භාවිතා කිරීමට අවස්ථාව සලසා දීම සහ වෙළඳ බලපත්‍ර online මාර්ගයෙන් ලබා දීමට අවස්ථාව සලසා දීම යන කාර්යන් ඉටුකිරීමට ආරම්භ කරන ලද අතර මේ වන විට එයින් බොහෝ වැඩ ප්‍රමාණයන් ක්‍රියාත්මක වෙමින් පවතී.

2022 පාර්ලිමේන්තු ගිණුම් කාරක සභා තරගාවලියේ රන් සම්මානයක් ලබා ගැනීමට හැකිවීම, 2023 වර්ෂයේ පැවති වයඹ පළාත් සැහැල්ලු පන්දු තරඟාවලියේ දී ප්‍රථම ස්ථානය හා දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය ද අප ආයතනය විසින් දිනා ගැනීම, වයඹ පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ උපදෙස් මත කුරුණෑගල ප්‍රාදේශීය සභාව මගින් පැය විසිහතර (24) පුරාවටම ක්‍රියාත්මක වන හදිසි ආපදා කළමනාකරණ ඒකකයක් පිහිටුවීම, සභා බල ප්‍රදේශයේ GIS තාක්ෂණය භාවිතයෙන් මාර්ග සිතියම් ගත කිරීම යන කාර්යන් සිදුකිරිමට ද 2023 වර්ෂයේ දී අපට හැකි විය.

2023 පාර්ලිමේන්තු ගිණුම් කාරක සභා තරගාවලියේ රන් සම්මානයක් ලබා ගැනීමට මෙවරද අපට හැකිවීය.සාරගම මංතීරු ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවරීම.මල්පිටිය පෙරපාසල, මල්පිටිය උපකාර්යාලය හා මල්පිටිය පුස්තකාලය නවීකරණය කිරීම 2024 වර්ෂයේ දී සිදුවිය. මාර්ගගත තාක්ෂණය යටතේ ගෙවිම් පහසුකම් සලසා දීම ද අපට හැකි වීය.

මෙම සියලුම කාරණා ශක්තියක් කරගනිමින් මෙසේ ඉදිරිපත් කරන අය වැය සමඟ ගමට රටට හිතවාදී බුද්ධිමත් සමාජයක් බිහිකිරීමේ ප්‍රාර්ථනා පෙරදැරි කරගෙන 2025 වර්ෂයේ දී තවත් පියවරක් ඉදිරියට තබන්නට කුරුණෑගල ප්‍රාදේශීය සභාවට හැකි වේවායි යන්න මාගේ පැතුමයි.

AVANTAGEHeadquarters
Akuressa - Malimbada Rd, Akuressa
OUR LOCATIONSWhere to find us?
GET IN TOUCHAthuraliya Social links
Taking seamless key performance indicators offline to maximise the long tail.

Copyright by Kurunegala Pradeshiya Sabha. All rights reserved by SLT-Digital.

Copyright by Kurunegala Pradeshiya Sabha. All rights reserved by SLT- Digital.